කූරගල පුදබිම
බළන්ගොඩ සීමාන්තයේ පිහිටි කූරගල වන පියස කඳුරට වියළි කලාපීය වෘක්‌ෂලතා කලාපයට අයත් වුවද, තෙත් හා වියළි සංක්‍රාන්තීය කලාපයක අවසාන සීමාවේ පිහිටා ඇත. එබැවින් අවුරුද්දේ වැඩි කාලයක් වියළි දේශගුණයක් පවතින බැවින් තද කර්කශ වියළි බවක් ගතට දැනේ. මෙහි වැඩී ඇති ශාක කඳුරට වියළි කලාපීය ශුෂ්ක දේශගුණයට ඔරොත්තු දෙන තද අරටුව සහිත හොර, කීන, පලු, වීර, බුරුත, නැදුම්, හල්මිල්ල, කැටකෑල්ල වැනි වටිනා වෘක්‌ෂලතා මෙන්ම කටු පඳුරු හා තෘණ තලා වර්ගයට අයත් අඩි දෙකක් පමණ උස් වූ "මානා" පඳුරු බහුලව දක්‌නට ලැබේ. එසේ ම අරළු බුළු, නෙල්ලි, ගම්මාලු කහට, වෑවරණ, ඇත්දෙමට, සුදුහඳුන්, රත්හඳුන්, කිහිරය, බිම් කොහොඹ, රසකිඳ තිත්තකිඳ, අට්‌ටික්‌කා, ඇහැළ, ඔළිඳ වැල්, සියඹලා, ඊ තණ ආදී ඖෂධීය ගස්, වැල් හා තෘණ වර්ගයට අයත් ශාක මෙම ප්‍රදේශයේ බහුලව දැක ගත හැකි බැවින් රැකගත යුතු වටිනා වන කලාපයකි.
කූරගල පර්වත ශිඛරයේ සිට අවට නරඹන කල්හි දකුණු දෙසින් මුහුදු සිතිජය ලෙස දිස්‌වන්නේ උඩවලව හා චන්ද්‍රිකා වැව අති විශාල ජල එකතුවයි. ගිනිකොණ දෙසින් බිඳුණුමංකඩ හා හම්බෙගමුව සුවිශාල වැව් දෙක දිස්‌වේ. ඊසාන දෙසින් හපුතලේ කඳු පන්තිය හා කොස්‌ලන්ද සානුව දිස් වේ. හපුතලේ, ඇල්ල, වැල්ලවාය හා කොස්‌ලන්ද, බෙරගල මහා මාර්ගය දිගේ පහන් කණු ආලෝකයෙන් දිස් වන සුන්දර දර්ශනය නැරඹීම සඳහා බොහෝ දෙනා රාත්‍රී කාලයේ කූරගල ගල් තලාවේ නවාතැන් ගැනීම කලක සිට පැවත එන සිරිතකි. වර්ෂා කාලයේ දී දහස් ගණනින් පිරී යන මධ්‍ය වලව මිටියාවතේ පැරැණි වැව් පද්ධතිය දිස් වන්නේ තැන තැන එක් රොක් වූ ජල කඩිති මෙනි. අක්‌කර දෙකක් පමණ වන සේ සිවුරුකඩ කපා ඇති ආකාරයට ක්‍රමානුකූලව කට්‌ටි කර ඇති කල්තොට, කොළොම්මඩ, වැලිපතයාය, පුහුල්යාය, පුබ්බරුපොත, දියඉන්න දක්‌වා දිවෙන වෙල්යාය කූරගල පර්වතයෙ සිට නරඹන කල්හි අතිසුන්දර මනස්‌කාන්ත දර්ශනයක් දිස් වේ. වර්ෂ 1956 පසු සංවර්ධනය වූ "වලවේ ගඟ දකුණු ඇළ සංවර්ධන ව්‍යාපාරය" යටතේ මෑත දී වගා කටයුතු සිදු කරන මෙම කුඹුරුයාය ප්‍රදේශයට බත සපයන පුණ්‍ය භූමියකි.
එදා සිහල රජ දවස නීල යෝධයා විසින් ඉදිකළ නීල බැම්ම අමුණ සහ ඇළ, වලවේ ගඟේ දෙපා බැදි අමුණ සහ ඇළ, කාල්කාන් අමුණ සහ ඇළ, මළකඳුර අමුණ සහ ඇළ, කොමළිගේ අමුණ සහ ඇළ ආදිය ඇතුළු වැව් අමුණුවල තැන තැන ඇති නෂ්ඨාවශේෂයන් කියා පාන්නේ වලවේ ගඟේ අතු ඔයවල් හරස් කොට ඇළවේලී මගින් ජලය ගෙන ගොස් දහස් ගණන් වැව් පුරවා වගා කටයුතු කළ සරුසාර භූමියයි. එදා මෙන්ම අද ද මෙම ප්‍රදේශයේ ජනතාවට බත සපයන්නේ නැවත ප්‍රතිෂ්ඨාපනය කර ඇති එම වැව් අමුණු සහ ඇළ මාර්ග වේ.
මෙම තැනිබිම මැදින් නිහඬ ව ලයාන්විත ව හැඩගැන්වෙමින් ගලා යන වලවේ නදිය සහ එහි අතු ගංගා සියලු සත්ත්වයන්ගේ දිය පිපාසය සිඳුවන ජීවනාලියයි. දියඉනි ඇල්ල, පියන්ගිර ඇල්ල සහ දූවිලි ඇල්ල රසකාමීන්ගේ නිවාඩු නිකේතන බවට පත්ව ඇත. මෙම සුන්දර මනස්‌කාන්ත දර්ශනය ශ්‍රී ලංකාවේ ස්‌වාභාවික පරිසර නිර්මාණයේ අග්‍රගණ්‍ය ඵලයකි. මෙය සංචාරක නිකේතනයකි. සීගිරි පර්වතයේ සිට ජල උද්‍යානය නැරඹීමෙන් ලද හැකි ආස්‌වාදය හා පරිසර සුන්දරත්වය කූරගල සිට වලව නිම්නය නැරඹීමෙන් ලද හැකි බව කිව හැකිය.
ජනප්‍රවාදවලට අනුව මෙහි පැරැණි නාමය කූරගල නොව "කුහරගලයි" එම නම ව්‍යවහාර කිරීමට හේතු වී ඇත්තේ පිටුවන්ගල පර්වතය මුදුනේ නැගෙනහිර බෑවුමේ ස්‌වභාවිකව පිහිටි ගල් දෙබොක්‌කාවක් කුහරයක් ලෙස තරමක ගැඹුරට පිහිටා තිබීමයි. එය අඩි 15 - 20 පමණ ගැඹුරට මිනිසුන් දෙදෙනකුට පමණ එක වර බැසිය හැකි කුහරයකි. ඝන අන්ධකාරයෙන් යුත් කුහරය දිගේ තරමක් පහළට බැසීමේ දී පර්වත තලයේ නැගෙනහිර මුහුණතට සූර්යාලෝකය වැටීමෙන් විවර වූ පැළුම තුළින් ආලෝකය මතුවේ. සාපේක්‍ෂව බලන කල්හි මෙහි පිහිටීම එතරම් ම විශ්මය ගෙන දෙන්නකත් නොවේ. එහෙත් කූරගල යන නම භාවිතාවීමට මෙය හේතු වී ඇත. කූරගලට තරමක් ආසන්නව නැගෙනහිර දෙසින් පිටුවන්ගල පර්වතය දිස්‌වෙයි. එය කුරගලට වඩා තරමක් උස් වේ. දත්තා විසින් පූජා කළ ලෙනට ඉහළින් පිහිටා තිබේ. මෙය ස්‌වරූපයෙන් ලෙනක් නොව ගුහාවකි. මෙය අචෙලක භික්‍ෂූන්ගේ භාවනා අසපුවකි. මෙය නැරඹීමේදී ප්‍රවේශම් වීම නුවණට හුරුය.
නැගෙනහිර හිටුවන්ගල පර්වතය පා මුල කටාරම් කොටන ලද ලෙන් තුනක් දැකගත හැකිය. ප්‍රථම ලෙන අඩි හැටක් පමණ දිග් වූද, අඩි 40 පමණ උස් වූද, කටාරම් දෙපේළියකින් යුක්‌තව පහළින් පූර්ව බ්‍රහ්මී අක්‌ෂරවලින් යුත් දීර්ඝ සෙල්ලිපියකි. ඊට මඳක් වම් පසින් තවත් කුඩා ප්‍රමාණයේ ලෙනකි. එය ප්‍රථම ලෙනට වඩා කුඩාය. පර්වත ශිඛරයේ ඉහළම කෙළවරේ සෘජුව උස් වූ පර්වත තලයේ අවදානම් අයුරින් සකස් කර ඇති අඩි 8 ඞ 6 ඞ 4 දිග, පළල සහ උස ප්‍රමාණයෙන් අයුත් භාවනා අසපුවකි. එයට ඉහළින් ස්‌වාභාවිකව පිහිටි විශාල ගල් කුලයකින් වහළක් සේ ආවරණය වී අව් වැසි ආදියෙන් ආරක්‍ෂාව සැලසේ. මෙම ස්‌ථානය භාවනානුයෝගී භික්‍ෂූන් වහන්සේලා විදර්ශනා පිරූ ගිරි ගුහා ස්‌ථාන බව විශුද්ධිමාර්ග සන්නසට අනුව පැහැදිලි කර ගත හැකිය. භාවනානුයෝගී තවුස් කැළ වෙනුවෙන් ගිරි ගුහා ඉදි කළ බව බෞද්ධ සාහිත්‍යයේ කොතෙකුත් හමු වේ. මෙම භාවනා අසපුවේ සිට තෙරක් නොපෙනෙන හිස් අවකාශය දෙස බැලීමෙන් විදර්ශනාලාභී භික්‍ෂූන් වහන්සේලාට විශ්වයේ යථා තත්ත්වය අවබෝධවීමෙන් මාර්ගඵල අවබෝධ කර ගැනීමට මෙන් ම සසර මග කෙටි කර ගෙන නිවන් මග පසක් කර ගැනීමට උපකාර වූ පුණ්‍ය භූමියකි මේ. එබැවින් මෙම ලෙන් ආශ්‍රමය අනාගත භික්‍ෂූන් වෙනුවෙන් රැක ගත යුතු භූමියක් බව අවධාරණය කරමි.

No comments:
Post a Comment