ගම්පොළ සිට හෝ පේරාදෙණියේ සිට ගෙලිඔයට පැමිණ එතැන් සිට තලවතුර, බුවැකඩ දක්වා පැමිණ දෙවාලය දක්වා වු මාර්ගයේ පැමිණ මෙම ඓතිහාසික ඇම්බැක්කේ දේවාලය වෙත පැමිණිය හැකිවේ. ක්‍රි.ව. 1370 දි ගම්පොළ රාජ්‍ය කාලයේ තුන්වන වික්‍රම බාහු රජතුමාගේ අනුග්‍රහය මත ආරම්භ වු ‍ඓතිහාසික ඇම්බැක්ක ශ්‍රි කතරගම මහා දේවාලය, මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ උඩුනුවර මැද පළාත ඇම්බැක්ක ග්‍රාමයේ පිහිටා ඇත.මහනුවර යුගයේ රචිත කිරළ සංදේශයේ මෙය මහසෙන් දෙවොල වශයෙන්ද හඳුන්වා ඇත.






කතරගම ඇම්බැක්ක දේවාලයට අයත් ප්‍රධාන ගොඩනැගිලි අටකි. ඉන් රිට්ටා ගෙය ඇම්බැක්ක දේවාලයේ සිට බුවැලිකඩ හන්දිය දක්වා යන මාර්ගයේ මිටර් 800 ක් පමණ දුරින් ගල්තලාවක් මත වෙල්යායකට මැදිව පිහිටා තිබි ඇති අතර එහි කොටස් අදටත් දැකිය හැක. දේවාලයේ ඉදිරිපස වාහල්කඩ සිට යාර 100 පමණ දුරින් තරමක් උස් භුමියක සිංහාසනය පිහිටා ඇත. ඇසළ පෙරහැරේදි සිංහාසනය තුළ දේවාභරණ තැන්පත් කරන බවත් රජතුමා එහි සිට පෙරහැර නැරඹු බවත් කියවේ. දේවාලභුමියට ඇතුල්වන දොරටුව සමිපව වාහල්කඩ පිහිටා ඇති අතර කැටයම් කරන ලද කණු මත ලි පේකඩ මත තලාද සවිකර වහළ ඉදිකර පෙති උලු සවිකර ඇත. කැටයම් කරන ලද ලි කණුවල හංස පුට්ටුව, ලියපත්, ඇත්කද ලිහිණියා, ගජසිංහයා, මව සහ දරුවා බහිරව රූප නෙළා ඇත. වාහල්කඩ පසුකර ඉන්පසු පියවර මනින්නේ දිග්ගෙය සහිත මහ දේවාලයටයි.







මහා දේවාලයේ ඉදිරිපස කොටස හේවිසි මඩුව නොහොත් දිග්ගෙය ලෙස නම්කර ඇති අතර එම කොටසේ පලල පැත්තට කණු හතර බැගින්ද දිග පැත්තට කණු 6 බැගින්ද වන අතර ඇතුළත කණු පේළියද ඇතුලුව මුලු ලී කණු ගණන 32 ක් වේ. ගෘහයේ පියස්ස තලාද මගින් සම්බන්ධ තර ඇති අතර වම්පැත්තට සහ දකුණු පැත්තට මෙලෙස තලාද ජෝඩු හතක් ඇත. පියස්සේ පළල අතර පරාල 12ක්ද දිග් අතට පරාල 66 ක්ද වේ. හේවිසි මඩුව කොටසට මින් පරාල 41 ක් අයත්වන අතර එහි ඉදිරි පලයේ පරාල 12කි. දිග් පලයේ පලමුවන පරාල හත බැගින් පරාල 14ක් මුදුන් යට ලීයේ කෙලවරට සවිකර ඇත්තේ කුඩයක නන සවිකර ඇති ආකාරයටය. විස්තර කළ පරාල 26 ම රදවා ඇත්තේ මඩොල් කුරුපාව නොහොත් කැණිමඩලටයි. මෙවැනි මගුල් කුරුපාවක් ලෝකයේ කිසිම තැනක දක්නට නැති අතර ඇම්බැක්ක දේවාලයට පමණක් සීමිත වු නිර්මාණයකි. එකම යකඩ ඇණයක්වත් පාවිච්චි නොකර ලී වලින්ම මෙම නිර්මාණ කර ඇත.

 

දිග්ගෙය සදහා යොදාගෙන ඇති ලි කණු ගම්මාලු බව ඔප්පු වන අතර මෙම කණු 32 හි එකක හතර බැගින් කැටයම් 128 ක් වේ. ඒවා එකිනෙකට වෙනස්වන අතර ඒකකාරි නොවේ. කැටයම් චිත්‍ර අතර පැරණි කෙළි සෙල්ලම් දක්වන ලී කෙළිය ඇත් පොරය, මල්ලව පොරය, රබන් කරකැවිම වැනි චිත්‍ර වන අතර රාජකාරි ක්‍රමය හා සම්බන්ධ අසරුවා හේවායා, අශ්වාරෝහකයා, විචාරණය සහ නළගන වැනි චිත්‍රද වේ. මනංකල්පිත නිර්මාණ ලෙස සැරපෙන්දියා, ලියතඹරා මල, භේරුණ්ඩ පක්ෂියා, ගජ සිංහයා වැනි චිත්‍රද පෙන්වා දිය හැකි අතර ගිජු ලිහිණියා, ඇත්කද ලිහිණියා, කිදුරා මකරා වෘෂභ, කුංචරය, හස්ති කුම්භය වැනි නිර්මාණාත්මකව කරන ලද පෙළ ගැස්මකි. හංස පුට්ටුව, ගරුඞ පුට්ටුව, මල්ගහ, ලණු ගැටය, ලියවැල්, පලාපෙති කැටයම් කරන ලද මෝස්තර අතර වේ. මෙම දේවාලයේ දිග්ගෙයි කණුවල ඇති කැටයම් හා චිත්‍ර වල මුලු එකතුව 514 කි.






මහාදේවාලයට වම්පසින් ඉදිකර ඇති පල්ලේ දේවාලය රාජාධි රාජසිංහ රජතුමාගේ නියමය පරිදි ඉදිකරන ලද්දක් වන අතර එය දේවතා බණ්ඩාර දේවාලය නමින්ද හැදින්වේ.

මහාදේවාලයට සහ පල්ලේ දේවාලයට දිනපතා මුලුතැන් පුජාව කළයුතු අතර ඒවා සකස් කිරිමට මුලුතැන් ගෙයක් වන අතර එක් දේවාලයකට එක බැගින් කොටස් දෙකකින් යුක්තය. මුලුතැන් පුජාවට අවශ්‍ය සහල් ලබා ගැනිමට වී අටු දෙකක් වන අතර එම පැරණි වි ඇටු දෙක අදද දේවාල භුමියේ ඉදිරිපස දකුණු අත පැත්තේ දක්නට ලැබේ. ටැම්පිට තබන ලද දැව මත අටු දෙක නිමවා ඇති අතර බිත්ති වරිච්චි බිත්ති වේ. වහළට පෙති උලු සෙවිලිකර ඇත. දේවාලයේ පුජා සදහා තිබෙන මුත්තෙට්ටු කුඹුරු වලින් ලැබෙන වී මෙහි ගබඩා කර ඇති අතර මාස්පත් පුජා සදහා අවශ්‍ය වී ප්‍රමාණය නිකුත් කරනු ලැබේ.

 

ඇම්බැක්ක දේවාලය ඉදිකිරිම් පිළිබදව ඇති ජනප්‍රවාද කතාවට අනුව ඇම්බැක්ක ග්‍රාමයට ආසන්නව රංගම ග්‍රාමයේ සිටි එක් බෙර වයන්නෙකුට වැලදිතිබු කුෂ්ඨ රෝගය සුවකර දෙන ලෙස කතරගම දේවාලයට ගොස් භාර වු පසු එම රෝගය සුවවිය. ඉන්පසු ඔහු විසින් සෑම වර්ෂයකම කතරගම දේවාලයට ගොස් බෙර වයා රාජකාරිය ඉටු කර ඇත. නමුත් ඔහු වියපත්වු විට බෙර වැයිමට දේවාලයට ඒමට නොහැකි වේයැයි සිතා දේවාල භුමියේ නිදන අතර තුරදි රාත්‍රියේදි කතරගම දෙවියන් සිහිනයෙන් පෙනිසිට ඔබ දුක් නොවන්න. ඔබ ගමට යන්න. නොබෝ දිනකින් රුකකින් ලකුණු පෙන්වා මාගේ අනුහස්පාමි. එවිට ඔබ පෙරසේම බෙරවයා බුහුමන් දක්වන්න. යනුවෙන් පවසා ඇත.

 

බෙරවයන්නා ගමට ගොස් සිටින විට ඇම්බැක්ක උයන්වත්ත නැමැති බිමේ කදුරු ගසකට උයන්පල්ලකු කැති පහරක් ගසන විට එයින් හත් බඹ හත් රියනක් උසට ලේ දහරාවක් විසිවු බව අසන්නට ලැබිණි. වහා ක්‍රියාත්මක වු බෙර වයන්නා එම ස්ථානයට ගොස් කතරගමදි දුටු සිහිනය විස්තර කෙරෙණි. උයන්පල්ලා වහා නිවසට ගොස් බත් සහ පලා මැල්ලුමක් ගෙන කැන්ද කොළයක තබා පුජා කල අතර බෙර වයන්නා දිනපතාම බෙරවයා පුජා පැවැත්විය. මෙම දේවාලය ආරම්භ වු කදුරු ගස තිබු උයන්වත්ත තුන්වන වික්‍රමබාහු රජතුමාගේ අගමෙහෙසිය වු හෙණ කදබිසෝබණ්ඩාර දේවියට අයත්වු මල් උයනක් බවද ප්‍රකාශ වේ.

පසුව අනුහස් සහිත මෙම අසිරිමත් දේවාලය පිළිබදව ගගසිරිපුර තුන්වන වික්‍රමබාහු රජතුමාට සැලවිමෙන් පසු දෝලාවක නැගි පිරිවරද සහිතව මෙතෙණට පැමිණ නැවත රාජධානියට යාමට දෝලාවට නැගුණ විට එය එක් පැත්තකට ඇලවි ගෙනයාමට නොහැකි වි ඇත. ඉන්පසු දේවාලයේ අනුහස්භාවය ගැන පැහැදුණු රජතුමා ඇත්දළ කැටයමින් රිදි ආලේපිත වටිනාතම දෝලාව පුජා කර ඇති අතර එම දෝලාව අදත් දේවාලයේ කෞතුක භාණ්ඩයක් ලෙස පවති. පසුකලෙක රජතුමාගේ මංගල ඇතාගේ ඇත්දළ යුගලයද දේවාලයට පුජා කර ඇත. කෙත්වතු අනුපස් අමුණක්ද ගම්වරද පුජාකොට දේවාල රාජකාරි 67 ක්ද නියම කෙරිණ. බෙර වයන්නාගේ පරමිපරාවේ අය අදත් දේවාල රාජකාරිවල නිරත වන අතර එය අරත්තන පනික්කි මුරය නම් වේ. අදත් මල්වත්ත බලාගැනිමේ කටයුතු කරන්නේ උයන්පල්ලාගේ පරපුරේ අයවන කංකානිගෙදර අයවෙති.

පුරාණ චාරිත්‍රානුකූලව කප් සිටුවා දේවාලයේ පෙරහැර ආරම්භ කරන අතර ඇතුල් පෙරහැර 5 ක්ද කුඹල් පෙරහැර 5ක් සහ එන්දෝලි පෙරහැර 5ක්ද ඊට අයත්ය. තෙවන රන්දෝලි පෙරහැර දින දේවාලයේ රාජකාරි කරුවන් විසින් සිංහාසනය අසලදි නිළමෙතුමන් පිළිගෙන නිළ නිවස වන ඉඩම් වලව්වට පෙරහැරකින් කැදවා ගෙන යාම, බස්නායක නිළමෙතුමන්ට බුලත් හුරලු දි වැද රාජකාරියට පැමිණි බව දන්වා සිටිම, වැනි සියලුම අවශ්‍යතා රාජකාරි භාරකරුවන් මගින් සිදුවිය යුතු අතර ඔවුන්ට යැපිම සදහා දේවාල කුඹුරු හා ඉඩම් ප්‍රදානයන් රාජකාරියට යටත්ව ලබාදි ඇත.

හෙන කද බිසෝ බණ්ඩාර දේවිය වික්‍රමබාහු රාජතුමාගේ අග මෙහෙසිය වු බවත් ඇය උඩුනුවර මාත්ගමුව නම් ගමේ බෙලිගෙඩියකින් ඕපපාතිකව උපන්බවත් ජනකතා වල සදහන්වේ. පසු කාලයක කද සුරින්දුන්ගේ දෙවඟන බවට පත්වු ඇය ඇම්බැක්ක දේවාලයේ අධිපති දෙවඟන බවට පත්කල බවද සදහන් වේ. ඇය මිය ගිය පසු දේහය කඳුරු කොටයකින් තනන ලද දෙනක බහා මහවැලි ගගේ පා කළ බවත් එය ගම්පොළ කහටපිටිය නම් ස්ථානයට ගොඩබට විට ඇම්බැක්ක දේවාලයේ අය එහි ගොස් ආදාහන කටයුතු එහිදි සිදු කොට දේවියගේ ආභරණ දේවාලයට රැගෙන ආ බවත් සදහන් වේ. අදද දේවාල පෙරහැරේ මෙම ආභරණ වඩම්මවන අතර දිය කැපිමට කහටපිටියට යන පෙරහැර ඇයගේ වියෝව සිහිපත් කරමින් අවමංගල්‍ය පෙරහැරක ස්වරූපය ඇතිව ප්‍රධාන කපු මහතා ඇතුලු අය කලු රෙදි පටිවලින් මුකවාඩම් බැදගෙන නැටුම් ගැයුම් කිසිවක් නැතිව සිදුකරනු ලබයි.