Total Pageviews

Wednesday, April 29, 2026

දීඝවාපිය මහා සෑය

 

                                                                දීඝවාපිය මහා සෑය



දීගවාපිය යනු බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ලංකාගමනයෙන් පූජනීයත්වයට පත්, සොළොස්මස්ථානයන්ගෙන් එක් ස්ථානයකි. බුදුරජාණන් වහන්සේ තම තෙවන ලංකා ගමනයේදී සමාධි සුවයෙන් වැඩසිටි මෙම ස්ථානයේ, පසුව ක්‍රිස්තු පූර්ව දෙවන සියවසේදී සද්ධාතිස්ස රජතුමා විසින් මහා සෑය සහ ආරාම සංකීර්ණය කරවන ලදී. අතීත දිගාමඩුල්ලේ පාලන මධ්‍යස්ථානය වූ මෙම ප්‍රදේශය, එළාර-දුටුගැමුණු යුද්ධයේදී සේනාවට අවශ්‍ය ආහාර සපයමින් රට එක්සේසත් කිරීමට විශාල ශක්තියක් වූ කෘෂිකාර්මික කලාපයක් ලෙසද ඉතිහාසයේ ප්‍රසිද්ධය.

මෙම මහා ස්තූපය වටප්‍රමාණයෙන් අඩි 1,000ක් පමණ වන අතිවිශාල නිර්මාණයක් වන අතර, එය රජරට පිහිටි මහා ස්තූපයන්ට නොදෙවැනි ප්‍රතාපවත් බවකින් යුක්ත විය. දශක ගණනාවක් තිස්සේ වනාන්තරයෙන් වැසී නටබුන්ව පැවති දීගවාපිය චෛත්‍යය, වර්තමානය වන විට "දීගවාපිය අරුණ" ව්‍යාපෘතිය යටතේ සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය වෙමින් පවතී. නැගෙනහිර පළාතේ බෞද්ධ උරුමයේ ජීවමාන සංකේතයක් බඳු මෙම පින්බිම, වර්තමානයේදී දේශීය මෙන්ම විදේශීය බැතිමතුන්ගේ නිරන්තර වන්දනාමානයට පාත්‍ර වේ.

දීගවාපිය මහා සෑය අවට සිදුකළ පුරාවිද්‍යා කැණීම්වලදී ඉතා දුර්ලභ ගණයේ පුරාවස්තු රැසක් හමුවී ඇත. ඒ අතර ස්තූපයේ ගර්භය තුළ නිදන් කර තිබූ රන් පත් ඉරු, විවිධ වර්ණවලින් යුත් පළිඟු කරඬු සහ පැරණි කාසි විශේෂ වේ. මෙහිදී හමුවූ වැදගත්ම සාක්ෂියක් වන්නේ මහා සෑයේ ප්‍රමාණ සහ ඉදිකිරීම් පිළිබඳ විස්තර ඇතුළත් සෙල්ලිපි හා පුවරුයි. මෙම සොයාගැනීම් මගින් අනුරාධපුර යුගයේ පැවති දියුණු තාක්ෂණය සහ කලාශිල්ප පිළිබඳ මනා අවබෝධයක් ලබාගත හැකිය.




මීට අමතරව, දීගවාපිය විහාර සංකීර්ණය වටා පිහිටි පුරාණ වැව් පද්ධතිය සහ වාරි තාක්ෂණය ද විශේෂ අවධානයට ලක්විය යුතුය. සද්ධාතිස්ස රජතුමා මෙම ප්‍රදේශයේ පාලකයා ලෙස කටයුතු කළ සමයේදී, මහා පරිමාණයෙන් වී වගා කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සලසා දී තිබුණි. චෛත්‍යයට නුදුරින් පිහිටි නටබුන් වූ පිළිම ගෙවල්, සීමා පවුරු සහ පොකුණු දෙස බැලීමේදී මෙය එකල අතිවිශාල භික්ෂු පිරිසක් වැඩසිටි මධ්‍යස්ථානයක් බව පැහැදිලි වේ.

වර්තමාන ප්‍රතිසංස්කරණ කටයුතුවලදී පුරාවිද්‍යාත්මක අනන්‍යතාව රැකෙන පරිදි පැරණි ගඩොල්වලට සමාන ගඩොල් නිෂ්පාදනය කර යොදාගැනීම විශේෂත්වයකි. මෙම මහා සෑය නිමාවට පත්වීමෙන් පසු එය නැගෙනහිර පළාතේ බෞද්ධ ජනතාවගේ මෙන්ම සමස්ත ලාංකේය ජනතාවගේම සංස්කෘතික අනන්‍යතාව විදහාපාන සුවිශේෂී ස්මාරකයක් වනු නොඅනුමානය.

No comments:

Post a Comment

ගැටඹේ විහාරය

                                                                     ගැටඹේ විහාරය ගැටඹේ යන නාමය සෑදී ඇත්තේ මහවැලි ගඟේ මෙම ස්ථානයේ පිහිටා තිබ...