Total Pageviews

Monday, March 16, 2026

නාගදීපය

 


                                                                     නාගදීපය


                                                             

පැරැණි ලක්දිව අනුරාධපුර සමයේ දී රජරට උතුරු කොටස හඳුන්වනු ලැබුවේ ‘උත්තර පස්ස’ හෙවත් උතුර්පස යනුවෙනි. නාගදීප යන පුරාණ නම වෙනුවට එය යෙදී ඇති බව සැලකේ. "සීහල දීපෙ උත්තර පස්සෙ නාග විහාරො නාම ඒකං විහාරං අහෝසි" යනුවෙන් රසවාහිනියේ දැක්වෙන්නේ ද නාගදීපය යි. එදා තථාගතයන් වහන්සේ නාගදීපයට වැඩම කොට ධර්ම දේශනා කළ ස්ථානය කන්දරෝදෙයි නමින් වර්තමානයේ දී හඳුන්වනු ලැබේ. ඊ.ටී. කන්නන්ගර මහතා සඳහන් කර ඇති ආකාරයට නාගදීපයේ දී බුදුරජාණන් වහන්සේ වැඩහුන් මැණික් පුටුව තැන්පත් කර ඇත්තේ කදුරුගොඩ විහාරයේ ය. ශාසන ඉතිහාසයේ බක් පුන් පොහෝ දිනය සුවිශේෂ වන්නේ ද තථාගතයන් වහන්සේ ලක්දිවට වැඩම කිරීම හේතුවෙනි.

වසරේ මාස දොළහ හා සම්බන්ධ විවිධ ශාසනික සිදුවීම් ඒ අදාළ මාසයේ පුර පසළොස්වක පොහෝ දින සිදු කිරීම පුරාණ කාලයේ සිට ම පැවත එන සිරිතකි.වංස කථාවන්හි දැක්වෙන ආකාරයට බුද්ධත්වයෙන් පස්වන වසරේ බක් මස අමාවක පොහොය දිනයේ දී බුදුරජාණන් වහන්සේ දඹදිව ජේතවනාරාමයේ සිට ලක්දිව නාගදීපයට වැඩම කළේ චූළෝදර මහෝදර යන පිරිස් සහිත නාගයන්ගේ මිණි පළඟ හේතුකොට ගෙන ඇති වූ කලහය දැක නාගයන් කෙරෙහි අනුකම්පාවෙනි. මහාවංසයේ නාගදීප ගමන වර්ණනාවෙහි ඒ බව විස්තර කර ඇත. " එකල නාගදීපයේ විසූ ජනයා නාග ගෝත්‍රිකයෝ වූහ. පැරැණි ලක්දිව දිව්‍ය නාගයන්ට වාසස්ථානය වූ නාග භවන තුනක් පිළිබඳ සද්ධර්මාලංකාරයේ විස්තර වේ. එනම් වඩුන්නාගල නාග භවන, මණිනාග දිවයින සහ කැලණි ගංගා නාග භවනය යි. මේ අතුරෙන් වඩුන්නාගල නාග භවනයෙහි තිස් කෙළක් නාගයන්ට නායක වූ චූළෝදර නම් නාග රජු වාසය කළේ ය. මණිනාග දිවයිනෙහි වූ සමුද්‍රා නාග භවනයෙහි විසූ මහෝදර නම් නාග රාජයා ද තිස් කෙළක් නාගයන්ට නායක වූවෙකි. විසි කෙළක් නාගයන්ට නායක වූ මණි අක්ඛික නම් නාග රජු කැලණි ගංගා නාග වනයෙහි වාසය කළේ ය. මේ නාග රජුන් තිදෙනාම ඔවුනොවුන් හා සමගිව නො වෙනස්ව මුල් කාලයේ දී සිටියා පමණක් නොව, ඥාති සම්බන්ධතාවකින් ද බැඳී සිටියහ. පසු කලෙක මැණික් පුටුවක් සඳහා කලහය ඇතිවන තුරුම ඔවුන්ගේ ඒ ඥාති සම්බන්ධය ඉතා ප්‍රබල ව පැවතිණ. නිදසුනක් ලෙස කැලණියේ විසූ මණිඅක්ඛික නා රජු මහෝදර රජුගේ මවගේ සොහොයුරකු වූ අතර ඔහු නාගදීපයට ගියේ තම බෑණාට උදව් කිරීම සඳහා ය. නාගයන් යනු ඒ ඒ ගෝත්‍රවලට අයත් මනුෂ්‍යයන් කොටසක් ලෙස සැලකෙන්නේ ද එබැවිනි. මහෝදර සහ චූළෝදර නා රජවරු දෙදෙනා ඥාතිත්වයෙන් මාමා සහ බෑණා වූහ. මහෝදර නා රජුට තිරච්ඡිකා නමින් නැඟණියක වූ බව වංසත්ථප්පකාසිනිය සඳහන් කරයි. ඒ නාග මානවිකාව පර්වත වාසී නා රජුට පාවා දෙනු ලැබුවා ය. තිරච්ඡිකාගේ පියා ඇයට දායාද වශයෙන් උතුම් මිණි පලඟයක් පරිත්‍යාග කර ඇත. මේ අනුව පැරැණි ලක්දිව නාග ගෝත්‍රිකයන් අතර ආවාහ විවාහ සිරිත් පැවති බවත්, විවාහයක දී දියණියට දායාද දීම මව්පියන්ගේ වගකීමක් වූ බවත් පැහැදිලි වේ. තිරච්ඡිකාගේ පුතා චූලෝදර නම් විය. ඉහත දැක් වූ පරිදි ඔහු තිස් කෙළක් නාගයන්ට නායක ව වඩුන්නාගල නාග භවනයෙහි වාසය කළේ ය. සිය මවගේ අභාවයෙන් පසු ඉහත සඳහන් කළ මිණි පළඟ චූලෝදර නා රජුට අයත් වී ඇත. මව්පියන්ගේ වස්තුවට දරුවන් උරුමක්කරුවන් වූ බව මින් ගම්‍ය වේ. මහෝදර චූළෝදර යන මාමා සහ බෑණා අතර කලහයක් ඇති වූයේ මේ මිණි පළඟ හේතු කරගෙන ය." බව පුරාවෘත්ත මේ බව සටහන්වෙල සඳහන් කොට ඇත.


“භගිනි සුතු මාතුලේහි දින්නේ

මණි පල්ලංක වරේ යහිං නිසින්නෝ

මුනි ධම්ම දෙසයි මුනීනං

සිරසා තං පණමාමි නාගදීපං” 

නාගදීපයේ ප්‍රධාන තොටුපොළ වූයේ ජම්බුකෝල පට්ටනම හෙවත් දඹකොළ පටුනයි. පුරාණ ලක්දිව සහ භාරතය අතර ජාත්‍යන්තර සම්බන්ධතාවල දී මේ වරාය ඉතාම වැදගත් විය. දේවානම්පියතිස්ස රජතුමා දඹදිව දර්මාශෝක අධිරාජයා වෙත ප්‍රථම දූත පිරිස යැව්වේ ද රජතුමාගේ දෙවැනි අභිෂේකය සඳහා අරිට්ඨ ඇතුළු දූත පිරිස නැවත ලක්දිවට පැමිණියේ ද, සඟමිත් මහ තෙරණියන් වහන්සේ ශ්‍රී මහා බෝධි ශාඛාව වැඩම කරවූයේ ද නාගදීපයේ වූ දඹකොළ පටුන වරායෙනි. ශ්‍රී මහා බෝධි ශාඛාවේ හටගත් අෂ්ටඵල රුහවලින් ප්‍රථම ඵලය රෝපණය කළේ ද නාගදීපයේ දඹකොළපටුනේ ය.

බක්මස අමාවක පොහෝ දිනයක දී බුදු සිරිපා පහස ලද නාගදීපය ඉහත සඳහන් කළ විස්තර අනුව බෞද්ධයන්ගේ අති පූජනීය ස්ථානයක් බවට පත්ව ඇත. ලක්දිවට ලැබී ඇති පරිභෝග ධාතු අතරින් ඉතාම උසස් තැනක් හිමිව ඇත්තේ පාත්‍ර ධාතුවට සහ ශ්‍රී මහා බෝධියටයි. ඊළඟට නාගදීපයේ රාජායතන වෘක්ෂය ද මැණික් පුටුව ද මෙම පරිභෝග ධාතු ගණයට ඇතුළත් වේ. එපමණක් ද නොවේ. සොළොස්මස්ථානයන්ගෙන් දෙවැනි ස්ථානය හිමි වන්නේ ද නාගදීපයටයි. ධාතු පරිනිබ්බාණයේ දී මහා බෝධි පල්ලංකයට වැඩම කිරීමට පෙර සර්වඥ ධාතූන් වහන්සේ වැඩම කරන්නේ ද නාගදීපයේ රාජායතන චේතියටයි. මේ ආකාරයට තථාගතයන් වහන්සේගේ පාද ස්පර්ශයෙන් පවිත්‍ර වූ පූජනීය නාගදීපය පැරැණි ලක්දිව බෞද්ධයන් ඉතා ගෞරවාදරයෙන් වැඳ පුදා ගත් ස්ථානයක් විය.



No comments:

Post a Comment

ගැටඹේ විහාරය

                                                                     ගැටඹේ විහාරය ගැටඹේ යන නාමය සෑදී ඇත්තේ මහවැලි ගඟේ මෙම ස්ථානයේ පිහිටා තිබ...